හැදුන් කුරු සුවදේ සැගව එන මාරයා – මේක ඇහුවොත් කිසිම දිනක හදුන් කුරු පත්තු නොකරාවි
ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත’ කියා ලියැවී තිබෙන වැකි අපට හුරු පුරුදුය. ඒ කතාව කෙතරම් මේ කාලයට උචිත දැයි සිතෙන්නේ යම් යම් සිදුවීම් දෙස බැලූ විටය.
අද සමාජයේ ජීවත් වෙන මිනිසුන් බොහෝමයක් මුළා කළ හැක්කේ භක්තිය මුල්කොටගෙනය. ආධ්‍යාත්මික විශ්වාස හා ඇදහිලි ඉදිරිපෙළට දැමුවහොත් මේ දූපත් වාසීන් ප්‍රාණ ඇපයට හෝ ගත හැකිය. ඒ තරමටම ආගමික භක්තිමත් භාවයෙන් හෙබි ඇත‍්තෝ මේ දිවයිනේ වෙසෙන්නෝය. කෙසේ වුවද එය කූට ව්‍යාපාරිකයන්ට නම් මුවහත් අවියකි. ආගමික භක්තිය ඉහවහා ගියවුන් ආධාරයෙන් ඔවුහු තම වෙළඳාමෙන් වැඩි ලාභ ලබන අතර ආගමික භක්තිකයන් ද රෝගීන් බවට පත් කරති.
හඳුන්කුරු, කට්ටකුමන්ජල් ආදියෙන් නිකුත් කෙරෙන සුවඳ දුම් සිගරට් දුමට වඩා මිනිස් සිරුරේ සෛලවලට විෂ සහිත වියහැකි බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී ඇත.
සුවඳ දුම්, සිගරට් දුමට වඩා ජාන විපර්යාසකාරක, ජානවලට විස සහිත හා ශෛලවලට විෂ සහිත බව එම පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. ලීචවෙන් ග්වොන්ග් නැමති තායිලන්ත වෛද්‍යවරයා පවසන කාරණු අවධානයට ගත යුතුය.
‘ඔහු පවසන්නේ පූජාවක් වශයෙන් දල්වන හඳුන්කූරුවලින් පිටවන දුමාරය පිළිකාකාරක රසායනික ද්‍රව්‍යවලින් පිරී පවතින බවයි. මෙම දුමාරය තුළ සිගරට් දුමටත් වඩා පිලිකාකාරක අඩංගු බව ඔහු පවසයි.’
“ඔබ දන්නවාද, එක් හඳුන්කූරකින් සිගරට් එකක් තරමටම පිළිකාකාරක රසායනික පරිසරයට නිකුත් කරනවා. මම දැනගෙන හිටියා මේවගේ පිලිකාකාරක තියෙනවා කියලා, ඒත් මම පුදුමයට පත්වුණා, තියෙන ප්‍රමාණය දැකලා”
ඔහු කියයි.
වසර කිහිපයක් පුරා ඔහු මෙම පර්යේෂණය සිදු කළ අතර, අයුත්‍යා, චචොන්ග්සෝ සහ සමුට් ප්‍රකාන් නැමති පන්සල් තුනට අයත් සේවකයන් 40 ක් ඊට යොදාගෙන තිබිණි. හඳුන්කූරු දුමාරයෙන් තොර පරිසරයක සිටින 25 දෙනෙකුද යොදාගෙන තිබිණි.
මේ පර්යේෂණයෙන් තහවුරු වූ දෑ පුදුම උපදවන සුලුවිය. ලියුකේමියාව ඇතිවීමේ අවදානම වැඩිකරන රසායනිකයක් වන බෙන්සීන් , ලේ පිළිකාකාරකයක් වන බියුටෙඩීන්, සහ පෙනහළු සහ සමේ පිළිකා ඇතිකරවන බෙන්සෝඇපයිරීන්, නැමති රසායන ද්‍රව්‍යයන්ට අධිකව නිරාවරණය වී තිබෙන බව තහවුරු විණි.
ඛේදවාචකය වන්නේ, අදාළ පර්යේෂණයට සහභාගී කරවා ගත් පන්සල් සෙවකයන්ගේ ශරීරයේ තිබූ බෙන්සීන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් 4ගුණයකින් ද බියුටෙඩීන් ප්‍රමාණය 260 ගුණයකින්ද, වඩාත් භයානක සංඝටකය වන බෙන්සෝඇපයිරීන් 63 ගුණයකින්ද වැඩි බව මෙහිදී අනාවරණය වීමය. එමතු නොව පන්සල් සේවකයන්ගේ රුධිර සහ මුත්‍රා පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වූයේ ඔවුන්ගේ ඩී.එන්.ඒ. හානි වී ඇති බවත්, ඔවුන්ගේ සිරුරට එම හානිය පිළිසකර කර ගැනීමට හැකියාවක් නොමැති බවත්ය.
‘වරදවා හිතන්න එපා, සිගරට් බොන හැම හැමෝටම පිළිකා හැදෙන්නේ නෑ, හැබැයි 20%කට විතර පිළිකා හැදෙනවා. පරීක්ෂණ වලට අනුව අපි දන්නවා ඩී.එන්.ඒ. වලට හානියක් සිදුවන බව, හැබැයි අපි දන්නේ නෑ ඒක පිළිකාවක් දක්වා දුරදිග යයිද කියන එක. කෙසේ වෙතත් ඔවුන්ට එහෙම වෙන්න තියෙන අවදානම වැඩියි.’
මනූන් කියයි.
අප අවධාරණය කරන්නෙ සියලුම හඳුන්කූරු ගැන නොවේ. ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර බෙදාහරින හඳුන්කූරු පිළිබඳවය. මෙලෙස ප්‍රමිතියෙන් තොරව සිදුවන නිෂ්පාදනවල සුවඳ දුම් නිරන්තරයෙන් ආඝ්‍රාණය කරන ආගමික නායකයන් ද බහුතරයක් පිළිකා, ඇඳුම ආදී ස්වාසනාලය ආශ්‍රිත රෝගයන්ට ගොදුරු වෙති. ලංකාවේ වැඩි වශයෙන් පරිසරය දූෂණය වන්නේ වාහනවලින් නිකුත් කරන විෂ වායුවලින් වුවද ඉන් අනතුරුව හානිකර වායූන් මුදා හැරෙන්නේ සඳුන්කූරු ආශ්‍රයෙන් නිකුත් වන වායූන් මඟින් බව ඇතැම් පරිසර සංවිධාන පවසයි. මේ සියල්ලටම මූලය වන්නේ ලංකාවේ ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය වන්නාවූ හඳුන් කූරු නිෂ්පාදන වේ.
ඈත අතීතයේ පටන් ආගමික වතාවත් හා සබැඳි මේ සුගන්ධ ධුම නිකුත් කරන හඳුන් කූරු නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද ඒ සඳහා අවශ්‍ය වට්ටෝරුව පිළිබඳව අප සොයා බැලුවෙමු. ලී කුඩු, ගොම, අඟුරු, බෝඹු පොතු, භාවිතා කොට හඳුන්කූරු තලපය සදාගන්නා අතර උණ පතුරු භාවිතයෙන් කූර සකසා ගනියි. මේ සියල්ලම ස්වාභාවික අමුද්‍රව්‍ය වන අතර එමඟින් ශරීරයට කිසිඳු හානියක් නොවේ. එහෙත් සියල්ල වානිජකරණයට ලක්ව ඇති කර්මාන්ත ඇති රටක හඳුන්කූරු කර්මාන්තයද වානිජකරණයට ලක්ව ඇත.
නිසි ප්‍රමිතියෙන් තොරව ලංකාවේ නිෂ්පාදනය වන හඳුන්කූරුවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් හෝ පාරිභෝගික සේවා ආයතනයෙන් තවමත් කිසිදු ප්‍රමිති ගත කිරීමක් කර නොමැති නිසා එම නිසා මෙම කර්මාන්තය මඟින් සිදුවන අහිතකර පල විපාක ද දිනෙන් දින ඉහළ යයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අප උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ උපදේශක සාලිය පෙරේරා සම්බන්ධ කරගත්තෙමු.
“දැන් වෙෙළඳපොලේ තියන හඳුන්කූරුවල කිසිදු ප්‍රමිතියක් නැහැ. ඒ ප්‍රමිතිය පිළිබඳව තවමත් තත්ව සහතික නිකුත් කරලාත් නැහැ. ඒ නිසාම මේ ව්‍යාපාරිකයක් තමන්ගේ හිතුමනාපෙට කාබන්ඩයොක්සයිඩ් , බැරලෝහ වගේම වෙනත් විෂ රසායන හඳුන්කූරුවලට අඩංගු කරන්න පෙළඹිලා තියනවා.
ඉන්දියානු පර්යේෂණයෙන් අහිතකරයි කියලා සහතික කරපු ඉන්දියානු හඳුන්කූරු සන්නාම තමයි ලංකාවෙ කඩවල වැඩියෙන් විකුණන්නේ. මේක සුළු දෙයක් නෙමෙයි. ලංකාවට ඉස්සරහට ලොකු ගැටලුවක් වෙයි. ”
යුරෝපා සංගමයට අදාළ රටවල් සඳහා 2014 වර්ෂයේදි සුගන්ධකාරක ද්‍රව්‍ය සඳහා නීතියක් පැනවූ අතර සුගන්ධකාරක රසායනික ද්‍රව්‍ය 1326ක් ඒ අනුව මිනිස් සිරුරට අහිතකර වීම හේතුවෙන් භාවිතය තහනම් කෙරුණි. “විශේෂ සුවඳක්” (special fragrance) යන අලෙවිකාරක නාමවලින් ලංකාවේ වාණිජ වෙෙළඳපොලළේ පවතින බොහොමයක් සුවඳකාරක හා හඳුන්කූරු ආනයනය කරනු ලබන කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා අඩු මිලට වෙෙළඳපොළේ බෙදා හරිනු ලබයි. නමුත් මේ පිළිබඳව නොදන්නා ආගමික භක්තියෙන් අන්ධ වුණු බැතිමතුහු ඒවා භාවිතාකර අහිතකර ප්‍රතිඵල ලබති.
‘ඉස්සර අපි හඳුන්කූරු හැදුවේ ස්වාභාවික දෙවල් වලින්. දැන් එහෙම වෙනවා අඩුයි. සේරම පිටින් ගෙන්වනවා. ඒ හින්දා මේ රටේ මේ කර්මාන්තේ කරපු දහස් ගාණකගේ ජීවිත කබලෙන් ලිපට වැටුණා’
ජීවිත කාලයෙන් අඩකටත් වැඩි කලක් හඳුන්කූරු හැදූ කාන්තාවක් වන කුසුමාවතී මහත්මිය එහෙම කීවාය. ඈ කියන්නාක් මෙන් මෙවක සියලු දෑ ගෙන්වන්නේ පිටරටින්ය. ඉනිදු ‘අරුමෝසම්’දෑ වැඩිවශයෙන් ගෙනෙනුයේ චීනයෙනි. වෙසක් සැරසිලි, පූජා ද්‍රව්‍ය බොහොමයක් චීනෙන් එන නැව්වලින් මෙරටට ගොඩබායි.
මේ කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසක් සිටින්නේ නුවර, මීගමු මාර්ගවලින් කොළඹ නගරයට ඇතුළත් වන කැලණි පාලම යට දෙපස පවතින කුඩා නිවාසවලය.
“මෙල්වින් කාර්වින්” නම් ඇමරිකානු රාසායන විද්‍යාඥයා ආසියානු රටවල භාවිතා කරන මේ සුගන්ධකාරක පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදුකළ අතර මේ නිසා මොළයට වන හානිය ඉතා ඉහළ බව එහිදී ඔහු තහවුරු කර ඇත.
මේ පිළිබඳව තොරතුරු විමසීමට තායි සුමේධා ආයතනයේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා සම්බන්ධ කරගත්තෙමු.
” අපේ නිෂ්පාදන සියල්ල ස්වාභාවික අමුද්‍රව්‍යවකින් නිෂ්පාදනය කරන්නේ. ඒත් සමහර ආයතන හඳුන්කූරුවලට මඳුරු දඟර නිෂ්පාදනය කොට ඉතුරුවෙන කුඩු යොදාගන්නවා කියලා රාවයක් තියනවා. සමහර හඳුන්කූරු පත්තු කළාම එන සුවඳ දරාගන්න අමාරුයි. ලංකාවේ තාමත් හඳුන්කූරු සඳහා නිසි ප්‍රමිතියක් නැහැ. ”
මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගෙන් අදහස් විමසුවෙමු. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ඒ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.
“ලංකාව කියන්නෙ හඳුන්කූරු කර්මාන්ත ඉතා හොඳින් සහ ස්වාභාවික අමුද්‍රව්‍ය ආධාරයෙන් නිෂ්පාදනය කරපු රටක්. හඳුන්කූර කියන්නෙ සුගන්ධයෙන් පූජනීය බවක් ගෙන දෙන්නක්. ඒත් දැන් නිෂ්පාදනය වෙන හඳුන්කූරු විනාශකාරී කියලා තහවුරු කරලා තියනවා නම් ඒක වලක්වා ගන්නට පරිසර සංවිධානවලින් හා අදාළ රාජ්‍ය අංශවලින් වහාම පියවර ගත යුතුයි. ”
“සුගන්ධයෙන් මෙහා යන අපහසුවක් ඇති කරන ධූමයන් ඇති වනවා නම් එය බුද්ධ පුජාවට අකැපයි. ” පශ්චාත් බුද්ධ කාලීන ව්‍යවහාරයේ සුවඳ දුම් භාවිතය පිළිබඳව පවතින්නේ මෙලෙසය.
ලෝකයේ වායු දූෂණය වන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටිනා ශ්‍රී ලංකාව සුගන්ධකාරක හේතුවෙන් පාරිසරික දූෂණයට ලක්වෙමින් පවතියි. මේ පිළිබඳව රාජ්‍ය අංශ කිසිදු මැදිහත් වීමක් මේ වන තෙක් සිදුකර නොමැති අතර පාරිභෝහික සේවා අධිකාරිය ද නිහඬය. මේ පිළිබඳව පාරිභෝගිකයන් ද නිහඬ වුවහෙත් වෙන්නේ වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටීමයි. එසේ නොවීමට නම් ඊට පෙර වඳින්න යන දේවාලයක දැනුවත්ව යා යුතුයි.
විශේෂ ස්තූතිය.
හරිත ලංකා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කතිකාචාර්ය
ඉන්දික විජේබණ්ඩාර
(රැස පුවත්පතේ ලිපියක් උපුටා ගැනින)
No comments: